<http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2014/06/poson-.jpg>

පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිමානවත් සැබෑම නිදහස් දිනයයි. නැකතට
දඩ කෙලියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵල
ලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත් වූයේ පොසොන් පොහෝ දවසේ ලත් මහානීය
දායාදය වූ බුදු දහමේ මහිමයෙනි.

මිහිඳු මහරහතුන් ලක්දිවට වැඩම කොට මාසයක් ඇතුළත දී වදාළ දෙසුම් වර්තමාන
බෞද්ධයන්ට අවුරුදු ගණනක් බණ ඇසුවත් අසන්නට නොලැබෙන තරමේ අතිශය ශ්‍රේෂ්ඨ
සම්බුදු දෙසුම් ය. මහරහත් මිහිඳු හිමියන් විසින් ලංකාවට වැඩම කළ මුල් වකවානුවේ
දී වදාළ දෙසුම් ගැන ඉතා පැහැදිලි විස්තරයක් මහාවංශයේ සඳහන් වෙයි. අප මේ
ලිපියෙන් විමසා බලන්නේ අන්න ඒ දෙසුම් පිළිබඳව ය.

මිහිඳු හිමියන් වදාළ පළමු දෙසුම නම් *චූලහත්ථිපදෝපම* සූත්‍රයයි. මෙය මජ්ඣිම
නිකායට අයිති දේශනාවකි. වනයේ ඇතුන් ගැන දන්නා කෙනෙක් වනයේ සිටින ඇතින්නියන්ට
නොරැවටී නියම ඇත් රජා තෝරාගන්නා අයුරින් බුදුසමිඳුන් වදාළ ධර්ම මාර්ගයේදී
උන්වහන්සේ සම්බුද්ධත්වය කුමක්දැයි ශ්‍රාවකයෙකුට මාර්ගඵල අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ
වන ආකාරය මෙයින් පැහැදිලි වේ. මිහිඳු හිමියන් විසින් මේ දෙසුම කොතරම් සාර්ථකව
වදාළේ ද යත් දෙවන පෑතිස් නිරිඳුන් ප්‍රමුඛ රාජකීය පිරිස තිසරණයෙහි පිහිටුවන්නට
හේතු වූයේ එයයි.

ඉන්පසු සුමන සාමණේරයන් වහන්සේ ලවා දේවාරාධනය කරවූ මිහිඳු හිමියන් සියලු
දෙවියන් කැඳවා ඒ දෙවියන් හට අංගුත්තර නිකායේ ඇතුළත්ව තිබෙන සමචිත්ත පරියාය
සූත්‍ර දේශනාව වදාළහ. සමාන සිත් ඇති දෙවි පිරිස ධර්මාවබෝධය කරගන්නා ආකාරය
එයින් කියැවේ.

පසුදින අනුලා දේවිය ප්‍රමුඛ අන්ත:පුර කාන්තාවන්ට ධර්ම ශ්‍රවණය කිරීමේ භාග්‍යය
උදා විය. මිහිඳු හිමියන්ගෙන් ඔවුන්ට කර්ම කර්මඵල ගැන අපූරු විස්තරයක් අසන්නට
ලැබුණි. එනම් ඛුද්දක නිකායට අයත් *ප්‍රේත වත්ථු* හා *විමාන වත්ථු* ය. ප්‍රේත
වත්ථුවේ සඳහන් වන්නේ පව් කිරීමෙන් ප්‍රේත ලෝකයේ උපත ලැබූ උදවියගේ කතාන්දරයයි.
විමාන වත්ථුවේ සඳහන් වහන්සේ පින් කිරීමෙන් දෙව් ලොව උපත ලැබූවන්ගේ කතාන්දරයයි.
මෙසේ උපත කරා යන ස්වභාවය තිබෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීමෙන් බව පැහැදිලි
කළ මිහිඳු හිමියන් ඉන් පසුව ඔවුන්ට වදාළේ චතුරාර්ය සත්‍යය විස්තර වශයෙන් සඳහන්
වන *සච්ච සංයුත්තය*යි. සංයුත්ත නිකායට ඇතුළත් මෙහි බුද්ධ දේශනා 135 ක් ඇතුළත්
වෙයි. ආර්ය සත්‍යය අවබෝධ කිරීමේ වාසියත්, එහි දුර්ලභ බවත්, සච්ච සංයුත්තය තුළ
ඉතා මැනැවින් විස්තර වෙයි.

ඉන්පසු මිහිඳු හිමියන්ට අවස්ථාව ලැබුණේ අනුරපුර සාමාන්‍ය ජනතාවට දහම් දෙසීමට
ය. එහිදී උන්වහන්සේ මජ්ඣිම නිකායට අයත්*දේවදූත සූත්‍රය* වදාළ සේක. ජීවිතාවබෝධය
නොකරන සාමාන්‍ය මනුෂ්‍යයා පව් කිරීම නිසා නිරයේ උපදින ආකාරය එම සූත්‍රයේ
මැනැවින් විස්තර වේ. ඊළඟට මිහිඳු හිමියන් වදාළේ පින් කරන කෙනා දිව්‍ය ලෝකයේ
උපදින ආකාරයත්, පව් කරන කෙනා නිරයේ උපදින ආකාරයත් විස්තර වන *බාලපණ්ඩිත*
සූත්‍රයයි.
ඒ දෙසුම ඇතුළත්ව තිබෙන්නේ මජ්ඣිම නිකායට ය.

ඊළඟට මිහිඳු හිමියන් වදාළේ අංගුත්තර නිකායට අයත් *අග්ගික්ඛන්ධෝපම* සූත්‍රයයි.
බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයින් දුස්සීලව ඉඳගෙන සැදැහැවතුන්ගේ සිව්පසය පරිභෝග
කිරීමෙන් අත්වන භයානක ඉරණම ගැන එම දේශනයෙන් මනාකොට විග්‍රහ වෙයි. එම දේශනය
තුළින් භික්ෂු සංඝයාගේ පිරිසිදු බව ඉතා හොඳින් මතුකොට දැක්වේ.

මිහිඳු හිමියන්ගේ ඊළඟ දේශනය වූයේ සංයුත්ත නිකායට අයත් *ආසිවිසෝපම සූත්‍රය*යි.
සතර මහා ධාතූන්ගෙන් සැදුණු මේ ජීවිතය විෂඝෝර සර්පයන් හතර දෙනෙකුට උපමා කොට,
ඉතා රමණීය ලෙස ජීවිතයේ යථාර්ථය විස්තර වන එම දෙසුම රහතන් වහන්සේ නමකගෙන්
අසාගන්නට තරම් එකල ලක්දිව මිනිසුන් භාග්‍ය සම්පන්න වූහ.

චතුරාර්ය සත්‍යය අවබෝධ නොකිරීමෙන් මේ කෙළවරක් නොමැති භව ගමනට වැටී, සත්වයන්
දුක් විඳින ආකාරය විස්තර වන සූත්‍ර දේශනා විස්සක් සංයුත්ත නිකායේ *අනමතග්ග
සංයුත්ත*යේ විස්තර වී තිබේ. මිහිඳු හිමියන් ඊළඟට වදාළේ එයයි.

දුක්ඛ ආර්ය සත්‍යය මැනැවින් විස්තර වන *ඛජ්ජනීය සූත්‍රය* ද ඇතුළත් වන්නේ
සංයුත්ත නිකායටයි. එහි පංච උපාදානස්කන්ධයට ඇළුම් කිරීමෙන් නැවත නැවතත් පංච
උපාදානස්කන්ධයම සකස් වන ආකාරයත්, පංච උපාදානස්කන්ධය විසින් එයට ඇළුම් කරන
සත්වයාව ගොදුරු කරගන්නා ආකාරයත් මනා කොට විස්තර වන මෙම දෙසුම මිහිඳු හිමියන්
පහදා දෙන විට මාර්ගඵල ලාභීන් බිහිවීම අරුමයක් නොවේ.

අපගේ බුදු සමිඳුන්ගේ ප්‍රථම දේශනය වන *දම්සක් පැවතුම් සූත්‍රය* ද ඇතුළත් වන්නේ
සංයුත්ත නිකායට ය. සිරිලක්වාසී සිංහලයන් හට ඒ දෙසුම ද ශ්‍රවණය කිරීමේ භාග්‍යය
උදා විය.

අප්‍රමාදී ජීවිතයක් ගෙවීමේ වටිනාකම කියැවෙන *අප්පමාද සූත්‍රය* සඳහන් වන්නේ
මජ්ඣිම නිකායේ ය. ලාංකිකයන්ට එය ද ශ්‍රවණය කිරීමේ භාග්‍යය උදාවිය.

මිහිඳු මහරහතුන් විසින් මේ දෙසුම් සියල්ලම වදාළේ මාසයක් ඇතුළතයි. ඉන් පසු
එළැඹියේ වස්සාන කාලයයි. වස් වසන්නට පළමු විනය පිටකයෙහි මහාවග්ග පාළියේ ඇති
*වස්සූපනායිකක්ඛන්ධකය* ජනතාවට කියා දෙන්නට තරම් මිහිඳු හිමියෝ කාරුණික වූහ.
වස්සාන සමය පිළිබඳ සියලු විස්තර එහි ඇතුළත් වේ. වස් වසන දිනය වන විට මේ
හෙලදිවේ රහතුන් වහන්සේලා හැට දෙනමක් බිහි වී සිටියහ. මිහිඳු හිමියන් ප්‍රධාන
ධර්මදූත පිරිසේ එකතුවත් සමඟ සියලු රහතුන්ගේ ගණන හැට අට නමක් විය. මිහින්තලයේ
ලෙන් හැට අටක් කරවා, ඒ රහතුන් හට කුටි තනවා දුන් සිංහලයෝ ගෞතම බුදු සසුනේ සැබෑ
ම දායාදය ලැබූහ.

ලක්ෂ ගණන් මල් පූජා කිරීමත්, මහා පෙරහැරවල් කිරීමත්, වෙසක් කූඩු තැනීමත්.
තොරණ් බැඳීමත් ආදි දේ අයිති වන්නේ බෞද්ධ සංස්කෘතියට මිස සැබෑ බුදු දහමට නොවේ.
මිහිඳු හිමියන් වදාළ පරිද්දෙන් අපේ රටේ ස්වාමීන් වහන්සේලා පිරිසිදු බුදු දහම
දේශනා කරන්නට පටන් ගත්තොත් යළිත් මේ දිවයින සැබෑම දහම් දිවයිනක් වනු ඇත.

*මග හොඳට තිබේ නම් – යන්ට දෑසත් පෙනේ නම්*
*කිම බැදිවල යන්නේ – මං මුලා වූවෙකු සේ….*

- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
emailsrilanka+unsubscr...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 

emailsrilanka+subscr...@googlegroups.com

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

--- 
You received this message because you are subscribed to the Google Groups 
"ඊමේල් ශ්‍රීලංකා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to emailsrilanka+unsubscr...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to