ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, මේ ඇස කියන්නෙ
අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණ කියන්නෙ
අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ
අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. දිව කියන්නෙ
අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. කය කියන්නෙ
අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. සිත කියන්නෙ
අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්” කියල.

භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, ”පින්වත් මහණෙනි, මේ ධර්මය යම් කෙනෙක් ඔය
ආකාරයට ම ශ‍්‍රද්ධාවෙන් අදහා ගත්තොත්, ශ‍්‍රද්ධාවෙන් බැස ගත්තොත් අන්න එයාට
කියනවා ”ශ‍්‍රද්ධානුසාරී කෙනා” කියල. එයාට කියනවා ”පෘතග්ජන භූමිය ඉක්මවා ගිය
කෙනා” කියල. එයාට කියනව ”සත්පුරුෂ භූමියට පැමිණුන කෙනා” කියල.

එතකොට එයා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව ”පින්වත් මහණෙනි, මෙන්න
මේ කෙනා, සතර අපායෙ වැටෙන යම් කර්ම තියෙනව නම්, අන්න එබඳු කර්ම කරන්ට අභව්‍ය
යි. එබඳු කර්ම එයා අතින් සිද්ධවෙන්නෙ නෑ” කියල දේශනා කරනවා. ඒ වගේම තමයි එයා
සෝතාපන්න නොවී කළුරිය කරන්නෙත් නෑ කියල දේශනා කරනව. ඒ කොහොම කෙනා ද? ඇස, කන,
නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන හය අනිත්‍යය විදිහට තේරුම් ගත්ත කෙනා.
අනිත්‍යයි කියල අදහා ගත්ත කෙනා යි.

මේ ආයතන හය අනිත්‍යයි, වෙනස්වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙලා යන දේවල් කියල
ශ‍්‍රද්ධාවෙන් අදහගත්ත නම්, අන්න එයාට කියන්නෙ ”ශ‍්‍රද්ධානුසාරි කෙනා” කියල.
එයා අසත්පුරුෂ භූමිය ඉක්මවල ගිහිල්ල තියෙන්නෙ. සත්පුරුෂ භූමියට පැමිණිලා
තියෙන්නෙ. සතර අපායේ වැටෙන යම් කර්ම තියෙනව නම් එයා අතින් සිද්ධ වෙන්නෙ නෑ. ඒ
වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කිරීමක් සිද්ධ වෙන්නෙත් නෑ. මැරෙන්ට
මොහොතක් තියල හරි එයා සෝතාපන්න වෙනව.

එතකොට එයාට සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාව ලැබිල ද නැද්ද? සතර අපායෙන් නිදහස්
වීමට අවස්ථාවක් එයාට ඉපදිලා. අපි මේ ධර්මයට පිවිසිය යුත්තේ එතනින් නේද? දැන්
අපිට කල්පනා කරන්ට අවස්ථාවක් තියෙනව, අපි මේ ධර්මයේ හැසිරෙනවා කියල කුමක් ද කළ
යුත්තේ? අපි පොත පත බලනව, දේශනා අහනව, බණ භාවනා කරනව, වත් පිළිවෙත් කරනව, ධර්ම
කතාව කරනව, පාඩම් කරනව. ධර්මයේ හැසිරෙනව යි කියල නොයෙකුත් ආකාර දේවල් අපි කරනව.
මේ සියළු කටයුතු වලින් කුමක් ද අරමුණු වන්නෙ? කුමක් ද කළ යුතු වන්නේ? කුමක්
කිරීම පිණිස ද? කුමක් උදෙසා ද? අපි මේ ධර්මයේ හැසිරෙන්නෙ? අනිත්‍යය තේරුම්
ගැනීම පිණිස යි. දේශනාවන් ඉගෙන ගන්නෙත්, ඒව සාකච්ඡා කරන්නෙත් මේ ඔක්කෝම අපි
කරන්නෙ අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම සඳහායි, වටහා ගැනීම සඳහායි යි, අවබෝධ
කරගැනීම සඳහා යි.

අනිත්‍යය කියන ධර්මය අපි තේරුම් ගන්නෙ නැතුව මේ ධර්මයෙන් අංශු මාත‍්‍රයක
ප‍්‍රයෝජනයක්වත් අපිට ගන්ට බෑ. මේ ධර්මය මුළුමනින් ම තියෙන්නෙ අනිත්‍යය කියන
ධර්මය තේරුම් ගැනීම පිණිස යි. අනිත්‍ය කියන ධර්මය අපි තේරුම් ගත්තොත් මේ ධර්මය
පරිපූර්ණ වූ ප‍්‍රයෝජන ලබාගන්ට පුළුවන්. මේ ධර්මයෙන් අපිට අත්කරගන්ට තියෙන
පරිපූර්ණ වූ ප‍්‍රයෝජනය මොකක් ද? දුකෙන් නිදහස්වීම, නිවන අවබෝධ කිරීම. එතකොට
දුකෙන් නිදහස්වීමත් නිවන අවබෝධ කිරීමත් සිදුවෙන්නෙ, අනිත්‍යය කියන ධර්මතාවය
තේරුම් ගැනීමෙන්. අනිත්‍යය තේරුම් ගන්නෙ නැති කෙනාට දුකේ නිදහස් වීමක්, නිවන
අවබෝධ කිරීමක් නෑ.

ඒ නිසා ආරම්භයේදී ම අපි අනිත්‍යය කියන ධර්මතාවය පිළිගන්ට ඕනැ. ඒකයි මේ ඇස
අනිත්‍යයි, වෙනස්වෙලා යන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියන මේ
ධර්මතාවය ශ‍්‍රද්ධාවෙන් අදහාගත යුත්තේ. ඒ ශ‍්‍රද්ධාවෙන් අදහා ගන්න කෙනා
”ශ‍්‍රද්ධානුසාරී” කෙනා බවට පත්වෙනව. එතනින් නේද නිවන් මගට පිවිසෙන්නෙ? ඒ
භාග්‍යවතුන් වහන්සේ යමක් අනිත්‍යය යි කියල දේශනා කළා නම් අන්න ඒ අනිත්‍යයි කියල
අපිට පෙන්වා දුන් ඒ ධර්මය අදහා ගත්තොත්, එපමණකින් ම එයා නිවන් මගට බැසගත් කෙනා
බවට පත්වෙනව. ඒ නිසා අපි විසින් කළ යුතු වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින්
පෙන්වා දුන් පරම ගම්භීර වූ, අනිත්‍යය කියන ධර්මය ශ‍්‍රද්ධාවෙන් අදහා ගැනීම යි.

ඒ නිසා මේ මොහොතේ හරි තේරුම් ගන්න, ඒ අනිත්‍යය ධර්මය අදහා ගැනීමෙන් ම යි, මේ
ධර්මයෙන් ප‍්‍රයෝජනයක් ගත හැක්කේ. අනිත්‍යය කියන ධර්මය අදහා ගැනීමෙන් ම යි, මේ
ධර්මයට පිවිසෙන්නේ. අනිත්‍යය කියන ධර්මය අදහාගන්නෙ නැති කෙනා, ධර්මයට
පිවිසෙන්නෙ නෑ. නිවන් මඟට එයාට බැසගන්ට බැරුව යනව. එ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ
පෙන්වා දුන් ධර්මය හොඳට කියවන්න, අහන්න. අහල මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත
කියන ආයතන ගැන ඒ පෙන්වා දුන් ධර්මය අදහා ගන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි..


From: http://www.dinamina.lk/kalanamithuro/?fn=n1104301&nav=0
-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SriNet.lk::" group.
To post to this group, send email to [email protected].
To unsubscribe from this group, send email to 
[email protected].
For more options, visit this group at 
http://groups.google.com/group/sricom?hl=si.

Reply via email to