නැකැත් සරණ ගිය මිනිසුන්ගේ නිසරු උත්සවයක් ගැන කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේගේ කාලෙ සැවත් නුවර හත් කෝටියක් ජනතාව වාසය කළා. එ් අතරින්
පන් කෝටියක් දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එ් අය නැකැත් වලට සැලකුවේ
නැහැ. එ් අය සැලකුවේ පිනටයි. එ් අය සැලකුවේ දානය, සීලය, භාවනාව ආදී පුණ්‍ය
ක්‍රියාවලටයි. එ් වගේම මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන මංගල කාරණා තිස් අටම
ක්‍රියාත්මක කරන්න තමයි එ් කාලෙ සිටිය ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් මහන්සි ගත්තේ.

එ් සැවැත් නුවර පෘථග්ජන අය දෙකෝටියක් පමණ හිටියා. පෘථග්ජන කියල කියන්නේ බුදු
සසුනෙන් පිට අයටයි. එ් අය ඕනම වෙලාවක තමන්ගේ ඇදහීම වෙනස් කරනවා. හිතුන හිතුන
දේවල් සරණ යනවා. ඉතින් මේ පෘථග්ජන පිරිස් ජීවිතයේ සාර්ථක වෙන්න කියල විශේෂ
නැකත් දවස් තෝරගත්තා. එ් නැකත් දවස් නියම කළේ බ්‍රාහ්මණයන් විසිනුයි. එ් නැකැත
පටන් ගත් දිනයේ සිට සතියක් පුරාවට එම උත්සවය තිබුණා. එ් උත්සවයේදී බොහෝ දෙනෙක්
ඇඟේ අළු තවරා ගත්තා. ගොම තවරා ගත්තා. පාරෙ මුණ ගැසෙන ඕනම කෙනෙකුට තරාතිරමකින්
තොරව අළු වලින් ගහනවා. ගොම වලින් ගහනවා. ගොම දියකරලත් ගහනවා. හිතු මනාපේ
විහිළු තහළු කරනවා. පිරිස් කණ්ඩායම් හැදිලා ගෙවල් ගානෙ යනවා. මිදුලට ගිහින්
සිංදු කියනවා. අළු වලින් ගහගන්නවා. ගොම දියකරලා ගහගන්නවා. සතියක් මුළුල්ලේම ඔය
නැකත් විකාරය පවත්වනවා.

තෙරුවන් සරණ ගිය ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන්ට මේක මහා කරදරයක්. එ් ආර්ය
ශ්‍රාවකයන් කරන්නේ නැකත් ක්‍රීඩකයන්ට තමන්ගේ මිදුලට එන්නට කලින්ම ඔවුන්ට
මුදල්දී පිටත් කොට හැරීමයි. එ් සතිය පුරාවට බුදුරජාණන් වහන්සේ හෝ භික්ෂූන්
වහන්සේලා පිඬු සිඟා වඩින්නේ නෑ. දායකයන් වෙනම දන් පැන් පිළියෙල කරලා බුද්ධ
ප්‍රමුඛ මහා සඟරුවනට පිළිගන්වනවා.

නැකැත් කෙළිය අවසන් වුණා. ආර්ය ශ්‍රාවකයන් කළඑළි බැස්සා. බුදුරජාණන් වහන්සේ
ප්‍රමුඛ භික්ෂු සංඝයා මහත් ගෞරවයෙන් නගරයට වැඩැම්මුවා. දන් පැන් පූජා කළා.
නැකැත් කෙළිය නිසා ඔවුනට සිදු වූ අනේක අතවර ගැන පැමිණිලි කළා.

“අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ මිනිසුන් නැකතක් නිසා මුලාවෙන් මුලාවට
පත්වෙලයි ඉන්නෙ. නැකත මහා ආනුභාව සම්පන්නයි කියලා සිතාගෙන ඉන්නෙ. දවස් හතක්
මුළුල්ලේ අපි මහා ගැහැටක් වින්ඳා. ඔවුන්ට කිසි ලැජ්ජා භයක් නෑ. අළු වලින්
ගහගන්නවා. ගොම වලින් ගහගන්නවා. ගොම දියකරලත් ගහගන්නවා. අම්ම මුත්තා කාලෙවත්
අහපු නැති මහා අසභ්‍ය වචන කිය කියා විහිළු කරගන්නවා. අනේ ස්වාමීනී, අපට එ්වා
අසනවා තියා සිතන්නවත් බැහැ. අපි කවුරුවත් මේ සුමානෙ ගෙදරින් එළියට බැස්සෙ
නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයක් පවතින කාලයක පවා මේ මනුෂ්‍යයන් නැකත් පස්සේ යන එක
මොනතරම් අවාසනාවක්ද?

එවේලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ මිසදිටු විශ්වාසයන්හි ඇති නිසරු බව
පෙන්වා දුන්නා. කර්ම කර්මඵල විශ්වාසයෙහි ඇති අනුසස් පෙන්වා දුන්නා.
ක්‍රියාවෙහි වැදගත්කම පෙන්වා දුන්නා. හොඳ නරක තෝරා බේරා ගැනීමේ හැකියාව ගැන
පෙන්වා දුන්නා. මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළා.


*පමාද මනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනාඅප්පමාදං ච මේධාවී – ධනං සෙට්ඨං ව
රක්ඛති*

නුවණින් තොර උදවිය ලොව – මෝඩ කමින් ඉන්නේ
නිසරු දෙයට වසඟ වෙමින් – ප්‍රමාදයෙන් ඉන්නේ
එනමුදු නුවණැති ජනයා – නුවණින් සලකන්නේ
නොපමා බව සුරකිති නිති – ධනයක් විලසින්නේ


*මා පමාද මනුයුඤ්ජේථ – මා කාමරති සන්ථවංඅප්පමත්තෝහි ඣායන්තෝ – පප්පෝති විපුලං
සුඛං*

එපා කිසිවිට මෝඩයෙක් ලෙස – පමාවෙන් කල්ගත කරන්නට
එපා කිසිවිට කාම සැපයට – ඇලී රැවටී කල් ගෙවන්නට
හොඳින් කැප වී දහමෙ හැසිරී – දැහැන් වඩමින් ගත කරන විට
ලබන්නේමය මහා සැප ඇති – සුවය ගෙන දෙන අමා නිවනම

Audio Player
00:00
Use Left/Right Arrow keys to advance one second, Up/Down arrows to advance
ten seconds.
00:00
Use Up/Down Arrow keys to increase or decrease volume.

 පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙම ගාථාවෙහි ‘බාලා, දුම්මේධිනෝ’ යන වචන සඳහන්
වෙනවා. මෙතන බාලයන් කියන්නේ කුඩා දරුවන්ට නොවෙයි. බාලයන් කියන්නේ මෝඩ
පුද්ගලයන්ටයි. සරු දෙය, නිසරු දෙය තෝරා බේරා ගත නොහැකි පුද්ගලයන්ටයි.
‘දුම්මේධිනෝ’ කියන්නෙත් නුවණින් තොර පුද්ගලයන්ටයි. එ් බාල වූ, නුවණින් තොර
පුද්ගලයන් හැම ඇදහිල්ලක්ම පසුපස යනවා. පරම සාරවත් බවෙන් යුතු තුනුරුවන් ගැන
අවබෝධයක් නෑ. අවබෝධයක් ඇති කරගැනීමට උත්සාහයක් ගන්නෙත් නෑ. එනිසා එ් මෝඩ
පුද්ගලයා ජීවිතය සාර්ථක කරගැනීමට වුවමනා අප්‍රමාදී ලක්ෂණ වන නැගී සිටි වීරිය,
ඉන්ද්‍රිය දමනය, නුවණින් විමසීම, කැපවීම ආදිය අත්හරිනවා. එ් වෙනුවට අලසකම,
නුවණින් තොර වීම, පර්යේෂණ නොකිරීම, අධ්‍යයන නොකිරීම, හීන වීරිය, නිසරු දෙයෙහි
යෙදීම, අර්ථ ශූන්‍ය වූ උත්සව වලින් කල්ගත කිරීම ආදී දේවල් කරමින් දියුණුව පත
පතා සිටිනවා. එබඳු අයට කියන්නේ ප්‍රමාදීව කල්ගත කරනවා කියලයි.

නමුත් නුවණ තියෙන කෙනා එහෙම නෑ. ඔහු තම නුවණින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය
හොඳට ඉගෙන ගන්නවා. එම ධර්මයෙන් විස්තර වන ගුණධර්ම පුහුණු කරනවා. අප්‍රමාදී
කෙනෙක් වෙනවා. එ් අප්‍රමාදී බව එ් කියන්නෙ නිරතුරුව පවත්වන උත්සාහය, කැපවීම,
වෙහෙස නොබලා අධ්‍යයන කිරීම, ගුරු දෙගුරුන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම,
අවවාදයේ පිහිටා සිටීම, සත්පුරුෂ ආශ්‍රය ආදී අප්‍රමාදී බව ඇතිකරන ගුණධර්ම තමන්
තුළ රැකගන්නවා. ශ්‍රේෂ්ඨ වූ ධනයක් රකින කෙනෙක් වගේ.

එම නිසා ප්‍රමාදයෙන් කල් ගත කරන්නට එපා. ප්‍රමාදයට හේතුවන කරුණු ඇති කරගන්නට
එපා. කාම සැපය පමණක් ජීවිතයේ එකම ඉලක්කය බවට පත්කර ගන්නට එපා. පින් දහම්
රැස්කර ගැනීමත් ජීවිතයට අවශ්‍යයි. අප්‍රමාදීව බණ භාවනා කරන අය මහා සැපයකට
පත්වෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා.

*පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ*
-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to [email protected].
To post to this group, send email to [email protected].
Visit this group at http://groups.google.com/group/sricom.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to