පන්සිල් පද පහව නිසි ලෙස රකින; මත්ද්‍රව්‍ය, ස්ත්‍රී ලෝලත්වය, දුෂණ වංචා,
අපරාධ, මුසාවාද ආදී චෝදනාවන්ගෙන් තොර පිරිසිඳු අපේක්ෂකයන් සිටින පක්ෂයට චන්දය
ලබා දෙන්න.…!

බුද්ධකාලීනව විසූ පසේ නදී කෝසල රජු විසින් දකිනා ලද සිහින දහසයක වගතුග අපි අසා
ඇත්තෙමු. එකල සැබෑ නො වූ එ් සිහින මෙකල සැබෑ වෙමින් පවතී.

එ් එක් සිහිනයක කොසොල් රජු දුටුවේ සැහැල්ලූ වූ ලබු කබල් දියේ පා නො වී, බර
වස්තුවක් මෙන් දියෙහි ගිලී යන බව ය. මේ කාරණය පැහැදිලි කරමින් සම්බුදුරජාණන්
වහන්සේ වදාළේ අනාගතයේ එළඹෙන ඛේදනීය සමාජ වටපිටාවක් පිළිබඳව ය.

‘‘පින්වත් රජතුමනි, අනාගතයේ සුදුස්සන්ට මැති ඇමතිකම් නො දී පහත් ගති ඇත්තන්ට
මැති ඇමතිකම් හා නිලතල ලබා දෙන නිසා රාජසභාව හිස් කථාවලින් පිරී යනවා. රටේ
හිස් දේවල් තමයි මිනිස් සිත්වල කා වදින්නේ. එය අනාගතයේ ඇති වන්නක්.”

දෙදහස් පන්සිය වසරකට පෙර මහා ප‍්‍රඥා බුදු ඇසින් දුටු එ් කාරණය අද අපි
අත්විඳින්නෙමු. අප මේ කියන්නේ සියලූ පාලකයන් දූෂිත යැයි කියා හෝ සියලූ තැන්
හිස් කථාවලින් පිරී ගොස් ඇතැයි කියා හෝ නො වේ. එහෙත් පෙර නො වූ විරූ ආකාරයෙන්
පාලකයන් වන්නට නුසුදුස්සන් බලවත් වූ පාලකයන් බවට පත්වන අයුර අද අපි දකින්නෙමු.
සුදුස්සා සහ නුසුදුස්සා නිසි ලෙසින් තෝරා බේරා ගැනීමට අපොහොසත් සමාජය විසින්
ඉතාමත් අදූරදර්ශී ලෙස සුදුස්සන් පසෙක සිටිය දී නුසුදුස්සන් බලවතුන් බවට පත්
කරන අයුරු ඛේදනීය ය.

රටේ උරුමකරුවන් නොව තාවකාලික භාරකරුවන් පමණක් වන පාලකයන්ගෙන් රටවැසියා
බලාපොරොත්තු විය යුත්තේ කුමක් ද? රට ව්‍යාකූල කරන්නට නො ව නිරාකූල කරන්නටත්,
සුඛිත මුදිත කරන්නටත් පාලකයෝ වගකීමෙන් බැඳී සිටිති. ඔවුහු සමාජයේ අවෛරය, අභය
ඇති කළ යුත්තෝ ය. එවන් පාලන තන්ත‍්‍රයක් තුළ හොර මැරකම්, වංචා දූෂණ, මත්පැන් –
මත්ද්‍රව්‍ය වැනි සමාජ පිළිල සමාජගත වීමේ හෝ බලතල ලැබීමේ හෝ ඉඩකඩක් නැත. එහෙත්
අද සමාජයීය අර්බුදයන් බොහොමයක් නිර්මාණය වී තිබෙන්නේ ද එ් අර්බුදයන්ට තුඩු
දුන් දුරාචාරයන් තවදුරටත් ආරක්ෂා වී තිබෙන්නේ ද උස් පුටුවල වැජඹෙන
නුසුදුස්සන්ගේ නො මනා ක‍්‍රියාකලාපයන් නිසා නො වේ ද?

එයින් සිදුවන්නේ සමාජය යළි පිළිසකර කළ නො හැකි තරමට ම ඉතා ශීඝ‍්‍රයෙන් පිරිහී
යෑම ය. එය වළක්වන්නට හැක්කේ පාලකයා කවුරුන් ද කියා තීරණය කරන පිරිසට ය. ආවේගයට
හෝ ලාභ අපේක්ෂාවෙන් හෝ ඡන්දය භාවිත නො කර රටේ යහධර්මයන්ගේ සුරක්ෂිත භාවය
වෙනුවෙන්, දේශීය අනන්‍යතාවයන්ගේ හා රට දැය සමයේ චිරස්ථිතිය වෙනුවෙන් ඡන්දය
භාවිත කර සුදුස්සන් සුදුසු තැනට පත්කරවීම ඡන්දදායකයාගේ උත්තරීතර වගකීම වන්නේ ය.

රටත්, ජාතියත්, දහමත් සුරක්ෂිත වන්නේ එ් කෙරෙහි ඇල්මෙන් කටයුතු කරන, එයට අනුව
කටයුතු කරන යහපත් මිනිසුන්ගේ ක‍්‍රියාකලාපය මත බව අප කිසි විටෙක අමතක නො කළ
යුතු ය. එසේ කටයුතු කරන්නේ නැණවතුන් පමණකි. එ් නැණවතා නිසි ලෙසින් තෝරා ගෙන
ඔබේ ඡන්දය භාවිත කළ යුතු ය…

*න තේන පිණ්ඩිතෝ හෝති – යාවතා බහු භාසති*
*ඛේමී අවේරෝ අභයෝ – පණ්ඩිතෝ’ති පවුච්චතී*

පිරිස් මැද ව්‍යක්ත විදිහට මුඛරිව කතා – බස් කළ පමණින් ඔහු නුවණැත්තෙක් වෙන්නෙ
නෑ. නමුත් යම් කෙනෙක් කාටවත් බිය ඇති නො කරයි නම්, වෛරය ඇතිවෙන පංච
දුෂ්චරිතයෙන් තොර නම්, අකුසලයෙන් දුරුවෙලා නිර්භයව ඉන්නවා නම් ඔහු තමයි සැබෑ ම
නැණවතා.

*(ධම්මපදය – ධම්මට්ඨ වර්ගය)*
*එවන් නැණවතුන්, ගුණවතුන් පමණක් ම පාලකයන් කරන්නට සියලූ දෙනාටම සිත් පහළ
වේවා!!!*
- See more at:
http://mahamegha.lk/mahamegha-today/kathiraya-gasimata-pera/#sthash.4TNtbTSn.dpuf

-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to [email protected].
To post to this group, send email to [email protected].
Visit this group at http://groups.google.com/group/sricom.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to